ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය පෙරමුණ ගත යුතුය - මහාචාර්ය රංජිත් සේනාරත්න, සභාපති, ජාතික විද්‍යා පදනම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුනෙස්කෝ මගින් 2001 වර්ෂයේදී නම් කරන ලද, සෑම වසරකම නොවැම්බර් 10 දිනට යෙදෙන ජගත් විදු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික විද්‍යා පදනම ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාතික විද්‍යා දිනය - 2022 වැඩසටහන ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 නොවැම්බර් 10 දින උදැසන අධ්‍යාපන අමාත්‍යාංශයෙහි 7 වන මහලෙහි පිහිටි ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

“තිරසර අනාගතයක් සඳහා විද්‍යාව, දේශීයත්වය කැටිකරගත් ගෝලීය ප්‍රවණතා” යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන ආමන්ත්‍රණය කළ ජාතික විද්‍යා පදනමෙහි සභාපති, සම්මානනීය මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය පෙරමුණු ගත යුතු බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සේනාරත්න මහතා මෙසේද ප්‍රකාශ කළේය.

ජාතික විද්‍යා පදනම වසර ගණනාවක් තිස්සේ විද්‍යාව මහජනතාව වෙත ගෙන යෑමට හා විද්‍යාව ප්‍රචලිතකිරීමට සුවිශාල කාර්යභාරයක් සිදු කර තිබේ. මේ වසර තුළදීද විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ එම කාර්ය ජාතික විද්‍යා පදනම මගින් ඉටුකර තිබේ.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසාගේ ප්‍රවර්ධනයට සහ අභිවෘද්ධියට විද්‍යාව සහ තාක්ෂණය ලබාදුන් අත්වැල සහ පිටුවහල සුවිශාලය. එනිසා අද ලෝකය දෙස බලන විට විද්‍යාව සහ තාක්ෂණයෙන් පෝෂණය නොවූ ප්‍රතිලාභ නොලැබූ කේෂත්‍රයක් නොමැති තරම්ය. අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ඉදිකිරීම් යනාදී සියලුම කේෂත්‍රවලට විද්‍යාව ඉතා සමීපව සම්බන්ධවෙමින් එම කේෂත්‍ර ප්‍රවර්ධනය සඳහා ඉමහත් කාර්යභාරයක් ඉටු කර ඇත. යුනෙස්කෝව මෙම ජගත් විදු දිනයෙහි තේමාව තුළට  “සාමය” යන වචනය ඇතුලත් කිරීම විශේෂත්වයකි. විද්‍යාව සහ තාක්ෂණය මානවයාගේ උන්නතිය සහ ප්‍රවර්ධනයට භාවිත කරන නමුදු අවාසනාවට මෙන් යම් අවස්ථාවලදී මානව වර්ගයාගේ විනාශයටද යොදාගෙන තිබේ. නිදසුනක් ලෙස 2 වන ලෝක සංග්‍රාමයේදී ලංකාවේ ජනගහනය මෙන් සිව්ගුණයක්, එනම්, මිලියන 80ක් පමණ මිනිසුන් විනාශයට පත්වුණි. එයටද දායක වී තිබෙන්නේ විද්‍යාව සහ තාක්ෂණයයි. එනමුදු අප විද්‍යාව සහ තාක්ෂණය යොදාගත යුත්තේ සාමය සඳහා සහ ජනතාවගේ සුගතිය මෙන්ම ගෝලීය තිරසර සංවර්ධනය උදෙසාය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මේ වන විට එක්තරා අර්බුදයකට පත්වී තිබෙනවා. එනමුත් ලංකාවේ තිබෙන සියලුම ස්වභාවික සම්පත්, මානව සම්පත්, යටිතල පහසුකම්, මෙන්ම කාලගුණය, උපායමාර්ගික පිහිටීම යන අංශවලින් හානියකට ලක්වී නොමැත. එනිසා රටක් වශයෙන් බංකොලොත්භාවයට පත්වූවා යැයි ඉච්ඡාභංගත්වයට පත් නොවිය යුතුය. ඉහත කී සම්පත් දෙස බලන විට ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවෙනි සංවර්ධන විභවයක් අප රට සතු බව ජාතික විද්‍යා පදනමෙහි සභාපති ලෙස ප්‍රකාශ කළ හැකිය.

එමෙන්ම, ශ්‍රී ලංකාව ලෝක ගෝලයේ ඉතා කුඩා ලක්ෂ්‍යයක් ලෙස දිස්වූවාට අප රටෙන් බිහිවුණු උගතුන් සහ විද්වතුන් ජාත්‍යන්තර තලයේ ඉතාමත් ඉහළ තත්වයකට පත්වී තිබේ. නිදසුන් රාශියක් මේ පිළිබඳව ඉදිරිපත් කළ හැකිය. ඇමරිකාවේ ඇපලෝ යානය 1969 දී අභ්‍යවකාශ ගත කර හඳෙන් පස් ගෙන ආ විට ඒවා ලෝකයේ ප්‍රථමයෙන්ම ස්පර්ශ කළේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ එවකට සේවය කරන ලද, මේ වන විට අභවප්‍රාප්ත වී තිබෙන මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතායි. එමෙන්ම සාර්ස් වයිරසයෙන් ජනතාව බේරා ගැනීමට මූලික කටයුතු කරන ලද්දේ මහාචාර්ය මලික් පීරිස් මහතාය. හෘදයාබාධ හේතුකොට ගෙන වසරකට මිලියන ගණනක් ගෝලීය වශයෙන් රෝගීන් මියයන අතර එම ව්‍යසනයෙන් රෝගීන් බේරාගැනීමට ස්ටෙන්ට් (stent) තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ ශ්‍රී ලාංකීය විද්‍යාඥ ආචාර්ය බන්දුල විජේ මහතාය. එමෙන්ම ආචාර්ය රොහාන් පල්ලේවත්ත වර්තමානයේ Benz, BMW, Toyota වැනි වාහනවල තිබෙන එයාර් බෑග් (වායු බෑග) වලට අවශ්‍ය කෙරෙන සංවේදක (sensors) නිර්මාණය සදහා මූලික විය. එනිසා, ශ්‍රී ලාංකිකයින්ගේ IQ අනෙකුත් රටවලට නොදෙවෙනි මට්ටමක පවතින බව සදහන් කළ යුතුය. ලෝකපූජිත දාර්ශනිකයෙකුවන කොන්ෆියුසියස්, උත්පත්තියෙන් සියල්ලන් සමාන වන බවත් පෝෂණය වෙන හා හදා වඩා ගන්නා ආකාරය අනුව එකිනෙකා වෙනස්වන බවත් (By nature people are same, through nurture they become distinct) ප්‍රකාශ කර ඇත.

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක තත්වයට පත්කිරීමට ඉලක්ක කර තිබේ. අපේ මතු පරපුර සංවර්ධිත රටක ජීවත්වනු දැකීම එහි අපේක්ෂාවයි. ඒ සදහා ප්‍රධාන වශයෙන් විද්‍යාව සහ තාක්ෂණය දායක කර ගත යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම, විද්‍යාව සහ තාක්ෂණයට අදාළ සියලු ආයතන, විද්‍යාඥයින්, පාසල් ගුරුවරුන්, සිසු-සිසුවියන්, විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන මේ සඳහා ඒකාබද්ධව කටයුතු කළ යුතුව ඇත.

ජාතික විද්‍යා පදනම මගින් පාසල් ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද විද්‍යා තරඟවල ජයග්‍රාහකයින්ට මෙන්ම වසර ගණනාවක් තිස්සේ විද්‍යාව ප්‍රචලිතකිරීමට දායක වූ අසෝක ද සිල්වා සහ තුසිත මලලසේකර යන විද්වතුන්ව මෙම ජාතික විද්‍යා දිනයේදී ඇගයීමට ලක් කෙරෙනවා.

රැල්ෆ් වැල්ඩෝ එමර්සන් නමැති දාර්ශනිකයා මෙසේ පවසා තිබේ. ඔබට ඉදිරියෙන් ඇති දෑ සහ ඔබට පිටුපසින් ඇති දෑ ඔබ තුළ ඇති දෑ හා සසදනවිට ඉතා සුලු දැය. ඔබ තුළ ඇති දෑ මෙම ලොවට ගෙන ඒමට හැකිනම්, එවිට ප්‍රාතිහාර්ය මැවෙන්නේය. ^What lies behind you and what lies in front of you pales in comparison to what lies inside of you – Ralph Waldo Emerson&'

එලොන් මස්ක් (Elon Musk) නවනිපයුම් කේෂත්‍රයේ ඉතාමත් ඉදිරියෙන් සිටින පුද්ගලයෙකි. ඔහු පවසන පරිදි වඩා වැදගත්වන්නේ නවෝත්පාදන නොව, නවෝත්පාදන සිදුකරනු ලබන වේගයයි. ශ්‍රී ලංකාව එලෝන් මස්ක්ට ආරාධනා කිරීම සදහා ඉතා සුදුසු රටකි. මෙහි තිබෙන ගුරුත්වාකර්ෂණය අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ අහස්යාත්‍රා ගුවන්ගත කරන ගුවන්තොටුපළවලට වඩා අඩුය. නිදසුනක් ලෙස අඩි 1000ක උසක සිට යම් වස්තුවක් ෆ්ලොරිඩාවේදී සහ ලංකාවේදී අතහැරියහොත් ෆ්ලොරිඩාවේදී ලංකාවට වඩා වැඩි වේගයකින් එම වස්තුව පොළොවට පතිතවනු ඇත. එයට හේතුව ෆ්ලොරිඩාවල ගුරුත්වාකර්ෂණය ලංකාවට වඩා වැඩිවීමයි. එමෙන්ම ගුවන්යානාවක් ගුවන්ගත කිරීමේදී එයට ඇතිවන ප්‍රතිරෝධය ෆ්ලොරිඩාවේදීට වඩා ලංකාවේදී අඩු අගයක් ගනී.

අප රටේ දැනට උද්ගතවී තිබෙන ගැටලු විද්‍යාව සහ තාක්ෂණය තුළින් පහසුවෙන් විසඳිය හැකිය.

එනිසා, අධ්‍යාපන අමාත්‍යාංශයද, විද්‍යාව හා තාක්ෂණයට සම්බන්ධ ආයතනද, විශ්ව විද්‍යාලද පාසල්ද ඔබ තුළ තිබෙන සහජ හැකියාවන් ප්‍රශස්ත ලෙස විකසිත වන ආකාරයට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුය. ජාතික විද්‍යා පදනම ඒ සදහා කැපවී ඇත.

ජාතික විද්‍යා පදනම සෑමවිටම පාසල් දුවාදරුවන් සහ දෙමව්පියන් සමග අත්වැල් බැඳගෙන දූදරුවන්ගේ සහජ හැකියාවන් සහ නිපුනතාවයක් එළි දැක්වීමට, ප්‍රශස්ත ලෙස ප්‍රකාශ කිරීමට උපරිම දායකත්වයක් ලබා දේ. අපගේ දූ දරුවන්ට විද්‍යාව සහ තාක්ෂණය තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවලට නොදෙවෙනි ඉහළම තලයකට ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා චින්තනය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.


© 2022 NSF. All Rights Reserved.